සරසවිය ජාතික උරුමයක්

1:55 AM |

සරසවිය කර්තෘ අරුණ ගුණරත්න
සරසවිය පුවත් පතට වසර 50ක් පිරුණේ ඊයේ(10) දිනටය. වසර පනහක් පුරා කලා ලෝකයේ සියලු තතු අතැඹුලක් සේ පාඨකයාට පිරිනැමුවේ සරසවියයි. 

ආරම්භයේ සිට කවිය, චිත්‍ර කතාව, සාහිත්‍ය, සිනමාව, ගුවන් විදුලිය, වේදිකාව යනාදී සියලු කලා ක්ෂේත්‍ර නියෝජනය කරමින් පාඨක ප්‍රශංසා නොමඳව හිමි කරගත් 'සරසවිය' නූතන රසිකයන් අතර වඩාත් ජනප්‍රියව ඇත්තේ කලා ලෝකයේ තොරතුරු නිවැරැදිව, රසවත්ව ගෙන එන නිල පුවත් පත බවට පත් වෙමිනි. පනස් වසරක දීර්ඝ ගමන් මඟ ගැන වත්මන් කර්තෘ අරුණ ගුණරත්න රසමංජරිය සමඟ අදහස් දැක්වූයේ මෙසේය.

සරසවිය පුවත්පතට වසර පනහයි. එහි ප්‍රධාන කතුවරයා ලෙස පුවත්පතේ ගමන් මඟ ගැන ඔබට දැනෙන හැඟීම කෙබඳු ද?

සරසවිය කතුවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම මගේ භාග්‍යයක් යැයි මම සිතනවා. ඒ වගේම ඒ ගැන නිහතමානි සතුටකුත් තිබෙනවා.

මේ රටේ මෙවැනි කලා පුවත්පතක් වසර විස්සකට වඩා අඛණ්ඩ කාලයක් පවත්වාගෙන යාමට නොහැකි වී තිබෙනවා. එහෙම රටක සරසවිය වසර 50ක් පවත්වාගෙන යෑම ම ප්‍රාතිහාර්යයක්. ඒ ප්‍රාතිහාර්ය එය ලේක්හවුස් ප්‍රකාශනයක් නිසාම නොවේ, මොකද ලේක්හවුස් ආයතනයම ආරම්භ කළ ඇතැම් පුවත්පත් අතරමඟ නැවතී තිබෙනවා.

එහෙම නම් වසර පනහක අඛණ්ඩ පැවැත්මේ ප්‍රාතිහාර්යයට සරසවිය පාත්‍ර වෙන්නේ කොහොමද?

සරසවිය කියන්නෙ ආරම්භයේ සිටම ලාංකේය සම්ප්‍රදායන්ගේ වටිනාකම් අවබෝධ කරගත් පුවත්පතක්. එය ආරම්භ වුණේ, පැවතුණේ සහ පවතින්නේ සිනමා පත්තරයක් ලෙස නොවෙයි. එහි මුල් පිටුව සිනමා තාරකාවකින් හෝ හැඩ වෙන්නෙ නැහැ.

මේ පුවත්පත සමාජයේ සෑම ස්ථරයක්ම ඇමතුවා. කාන්තාවන්, ළමුන්, කවියන්, සිත්තරුන්, ලේඛකයන් යනාදි සියලු පාර්ශව නියෝජනය කළා. ඒ අතර සිනමාවත් තිබුණා. ඒ නිසා තමයි සරසවියට මේ ප්‍රාතිහාර්ය පාන්න හැකි වූයේ.

එහෙත් පසුව මේ කොටස් ලේක්හවුස් ආයතනය ම පටන් ගත් වෙනත් පුවත්පත් හා බද්ධ වෙනවා. මිහිර, තරුණි, සුබසෙත යනාදි පුවත්පත් සරසවියේ නියෝජනය සීමා කළා.

එහෙත් තවමත් සරසවිය කියන්නෙ සකල කලාවම නියෝජනය වන පුවත්පතක්. සිනමාව, රූපවාහිනිය , වේදිකා නාට්‍යය, සංගීතය, සාහිත්‍ය යනාදි සියලු කලාවන්ට තෝතැන්නක් වෙමින් පැවතීමම තමයි සරසවිය අඛණ්ඩව පැවතීමේ ප්‍රාතිහාර්යය වී තිබෙන්නේ.

සරසවිය සමඟ පැරණි නෑකම් ඇති ප්‍රබුද්ධ පාඨකයා පවසන්නේ එකල පුවත්පතේ තිබුණ විචිත්‍ර දැනුම් සම්භාරය අද නැති බවයි?

දෘශ්‍ය මාධ්‍ය සමඟ වැඩි සම්බන්ධතාවකින් සරසවිය කටයුතු කරන බව සත්‍යයක්. එහෙත් අපි තවමත්, චිත්‍ර ප්‍රදර්ශනයකට, චිත්‍ර ශිල්පියකුට, මූර්ති ශිල්පියකුට, වටිනා ග්‍රන්ථයකට, වේදිකා නාට්‍යයකට යනාදි වශයෙන් ලබාදෙන ඉඩ කඩ නතර කර දමා නැහැ.

සරසවිය චිත්‍රපට සම්මාන උළෙල සමඟ සිනමාවට ක්ෂේත්‍රයේ ඉන්න උදවිය හැඟීමක් ඇති කරගෙන තිබෙනවා මෙය සිනමාවේ නිල පුවත්පත කියලා. ඒක බොහොම හෘදයාංගම බැඳීමක්.

එකල සරසවියට ප්‍රබුද්ධ සම්පත් දායකයන් සිටියා. මහගමසේකර, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, කේ.ජයතිලක වැනි අය එහි ලේඛකයන් වුණා. මෙවැනි සම්පත් දායකයන් නැවත සරසවියට සම්බන්ධ කර ගැනීමට අදහසක් නැද්ද?

ඇත්තටම මේ වෙනස කරන්න ඉදිරියේදී මම කටයුතු කරන්න සූදානමෙන් ඉන්නවා.

එවැනි සම්පත් දායකයන්ගෙන් විවිධ ලිපි ලබා ගැනීම අපේ අරමුණයි. ජනප්‍රිය සංස්කෘතිය මෙන්ම ප්‍රබුද්ධ පාඨක පිරිස ඇමතීම කියන කාරණා දෙකම මේ වනවිටත් සරසවිය මඟින් කෙරෙන කටයුත්තක්.

කලාව නැතිනම් සිනමාව දෙස බලනවිට එහි අර්බුදයක් ඇති බව යථාර්ථයයි. මේ අර්බුදය සමඟ පුවත්පතේ ඉදිරි පැවැත්ම ගැන ඔබේ අදහස කුමක් ද?

ඒක හොඳ ප්‍රශ්නයක්. මේ පුවත්පත් පවත්වාගෙන යාමේ කිසිම අර්බුදයක් නැහැ කියනවා නම් ඒක බොරුවක්. මොකද ඉන්දියාවේ “ෆිල්ම් ෆෙයාර්” සඟරාව හිමි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සමාගම පවතින අර්බුදකාරී තත්ත්වය හේතුකොට ගෙන එම සඟරාව විකුණා දැම්මා.

ඒ හැරුණම නිව්ස් වීක් සඟරාව අද කියවන්න පුළුවන් වෙන්නේ අන්තර් ජාලයෙන් පමණයි. එවැනි වාතාවරණයක සරසවියට ගැටලුවක් නැහැ කියන්න බැහැ.

එහෙත් සරසවියේ ගමන තිබෙන තුරු සිනමාව සමඟ නොවෙයි. අපි ඉන්නෙ තරු සිනමාව සමඟ නම් සරසවිය මුල් පිටුව හැඩ වෙන්න ඕනෙ ෂාරුක් ඛාන්ගෙන්. අපි එතැනට ගිහින් නැහැ.

ඒ සම්මත රටාවෙන් බැහැර වී අයිරාංගනී සේරසිංහ, බුද්ධදාස විතානච්චි යනාදි නළු නිළියන්ගේ ඡායාරූපවලිනුත් අපි සරසවිය මුල් පිටුව හැඩ ගැන්වූවා. එවැනි වෙනස්කම් සමඟයි සරසවියෙ ගමන තියෙන්නෙ.

සරසවිය කොහොමද මේ අභියෝගය ජය ගන්නෙ?

මෙහෙමයි. මේ රටේ සිනමා උන්මාදයක් නැහැ කියන්නත් බැහැ. හැබැයි ඒක සිනමාහල්වලින් දකින්න ලැබෙන්නෙ නැහැ. එය ජංගම දුරකථනය තෙක් පැතිරී ගිය සිනමා උන්මාදයක්. අද ජංගම දුරකථනයෙන් කෙටි චිත්‍රපට හදන ජංගම දුරකථනයෙන් චිත්‍රපට බලන යුගයකට ඇවිත්. අන්තර්ජාලය හා තරුණ පරම්පරාව වේගවත් ගමනක ඉන්නවා.

මේ හේතුව නිසාම සරසවිය පුවත්පතත් අන්තර්ජාලයට එකතු වුණා. අපේ පාඨක පිරිස මේ මඟින් වර්ධනය කරගන්න අපට හැකිවී තිබෙනවා.

දැන් අපට පාඨක පරම්පරා තුනක් ඉන්නවා. ඒ පරම්පරා තුන සමඟ කරන ගනුදෙනුව තුන් විදියක්. ලිපි හා තැපැල්පත් මඟින් තවම අප හා සම්බන්ධ වන අපේ පැරණි සාමාජිකයන් එක කොටසක්.

එස්.එම්.එස්. වලින් සම්බන්ධ වෙන්නෙ තව කොටසක්. අන්තර්ජාලය මඟින් සම්බන්ධ වෙන පාඨක සාමාජයකුත් සිටිනවා. මේ ගනුදෙනුව තුන් විදියක්. එස්.එම්.එස්.වලින් ගනුදෙනුව පටන් ගනිද්දි සරසවියේ පැරණි තවමත් අප සමඟ සිටින අපේ ඇතැම් පාඨකයන්ගෙන් හොඳටම බැණුම් අහන්නත් සිද්ධ වුණා.

කොහොම වුණත් මේ තුන් ආකාරයේම පාඨක පිරිස් අප සමඟ සිටීම අපට විශාල ශක්තියක්.

 සරසවියේ ස්වර්ණමය යුගය හැටියට ඔබ දකින්නේ කුමන යුගයද?

පුවත්පතේ අලෙවිය සහ ආකෘතිය කියන කරුණු දෙක දෙසම බලනවිට මට හැඟී යන්නේ විමලසිරි පෙරේරා කර්තෘත්වය දැරූ යුගය සරසවියේ ස්වර්ණමය යුගය බවයි. හැබැයි ඉතිං ඒ යුගය සිනමාවටත් නිදහස් මතවාදවලටත් ඉඩකඩ තිබුණ සුන්දර යුගයක් වෙන්න ඇති.

ස්වර්ණමය යුගය ගැන වගේම අභියෝගාත්මක යුගය ගැනත් කව්රු හෝ මගෙන් ඇසුවොත් මම කියන්නේ අභියෝගාත්මකම කාලය මෙය බවයි. ඉදිරි අනාගතයේදී යමකු ආපසු හැරී බැලුවොත් සරසවියේ ස්වර්ණමයම යුගය මේ කාලය ලෙස සලකන්න සිද්ධ වෙයි. මොකද අපි නියුක්ත වෙලා ඉන්නේ දැවැන්ත තරගයක.

සරසවිය සම්මාන උළෙල ගැන යමක් කිව්වොත්?

සරසවිය සිනමා පුවත්පතක් ලෙස ලේබල් වැදීමට පළමු හේතුව වුණේ මේ උළෙලයි. 1964 සරසවි සම්මාන උළෙලේ ප්‍රතිඵල දිහා බැලුවම පුදුම හිතෙනවා. එදා හොඳම චිත්‍රපටයට සම්මාන ලැබිල තියෙන්නෙ ගම්පෙරළියටයි. ඉන්දියාව ගම්පෙරළිය අගයන්න කලින් සරසවිය ගම්පෙරළිය ඇගැයීමට ලක් කළා.

පසු කලෙකදී අනෙක් සිනමා සම්මාන සසඳන්න ගත්තේ සරසවිය සම්මානය සමඟ. රටේ ජනතාව මෙන්ම සිනමා ක්ෂේත්‍රයේ නියැළෙන්නන් සිතුවේ මෙය පැවැත්විය යුතුම සිනමා උළෙලක් බවයි. ඇත්තටම සරසවි සම්මාන උළෙල කියන්නේ ලේක්හවුස් ආයතනයේ නොවේ රටේ ජාතික උරුමයක්.

 මේ උළෙල මඟින් සිනමාවට සිදුවූ සේවය කුමක්ද?

පළමු කාරණාව තමයි ගුණාත්මක සිනමාව හඳුනා ගැනීමට ප්‍රේක්ෂකයාට මඟ පෙන්වීම. උසස් සිනමාව කුමක්ද යන්න හිතන පරම්පරාවක් ඇති කිරීම පළමු සේවයයි. ඒ වගේම අපේ හැම සිනමා කෘතියකම කුමක් හෝ දෙයක් කතා කරන්න හැකිවීම මේ උළෙලින් පසුව හැකි වුණා.

අපේ සිනමාව හැම විටම ගැඹුරුයි කියන අර්ථය නොවේ මා එතනින් මතු කළේ. එහෙත් හැම සිනමා පටයකටම අලුතෙන් යමක් එකතු වුණා. ඊට මඟ පෙන්නුවෙත් සරසවිය.

අනෙක් පැත්තෙන් සම්මානයට පාත්‍රවිය යුතු උසස් රංගන දායකත්වයක් ලබාදීමට නළු නිළියන් යොමු වුණා. සම්මානවලට රඟපෑම නොවුණත් උසස් රංගන දායකත්වයකට ඔවුන් වෙහෙසුණා. මේ කියන සේවා තුනම සරසවිය සිනමා සම්මාන උළෙල මඟින් සිදුවුණා.

කෙසේ වෙතත් විවිධ ස්ථර නියෝජනය කරන බුද්ධිමත් පාඨක පිරිස සරසවියෙන් කැරන ඉල්ලීමක් තිබෙනවා. ජනප්‍රිය සංස්කෘතියට මෙන්ම මීට වඩා විෂය කරුණුවලට ඉඩ දිය යුතු බවට. ඔබ කොහොමද මේ අභියෝගය භාර ගන්නෙ?

මම නිරන්තරයෙන් පාඨක ප්‍රතිචාර ගෞරවයෙන් පිළිගන්න කතුවරයෙක්. පරම්පරා කීපයක් නියෝජනය කරන විවිධ ස්ථරවල ඔය ප්‍රතිචාරවලට මම ඇහුම්කන් දෙනවා. අතීතයේ පටන් සරසවිය විනෝදයට මෙන්ම දැවැන්ත බුද්ධි මණ්ඩපයකටත් ඉඩ ලබා දුන්නා. එදත් අපේ පිටකවරය පවා මහගමසේකර, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර වැනි අයගෙන් එළිය වුණා. අදත් ඊට ඉඩ තිබෙනවා.

දෙස් විදෙස් සිනමාව ඇතුළු සියලු කලා ක්ෂේත්‍ර ගැන අප කතා කරනවා. පුවත්පත දෙස අවධානයෙන් බැලුවොත් ඒ බව පෙනේවි. සරසවිය කියන්නේ ඕප දූප පත්තරයක් නොවේ. අපි එවැනි සරල කියැවීම්වලට පිටුවකට දෙකකට වඩා ඉඩක් දෙන්නෙ නැහැ.

ඇත්තටම මේ තරම් පාඨක පිරිසක් මෙන්ම සියලු කලා ක්ෂේත්‍රවල නියැළෙන පිරිස් රැඳී සිටින එකම කලා පුවත්පත සරසවියයි. එය ශ්‍රී ලාංකේය නිල කලා ජාතික පුවත්පත ලෙස කිසිදු සැකයකින් තොරව හඳුන්වා දෙන්න පුළුවන්.

සංවාද සටහන
සුමේධා නවරත්න

No comments:

Post a Comment