පින්තාරු කිරීම

3:51 AM |

2013 ජුනි මස 27 දා පළ වූ ‘සරසවිය’ පුවත්පතට එහි කර්තෘ අරුණ ගුණරත්න මහතා ලියූ ‘සැමීගේ කතාව ගැන නොකියූ කතාව‘ ලිපියෙන් සහ 2013 ජුනි මස 30 දා ‘සිළුමිණ’ පුවත්පතට එහි මාධ්‍යවේදී වසන්ත ජයසිංහ ආරච්චි මහතා ලියූ ‘පුළුන් ගුලි කටේ ඔබාගෙන ඩිරෙක්ටර් හමුවෙන්න ගිය ජගත්ගේ ගමන කෙළවර වුණේ ජගත් සම්මානයෙන්’ යන ලිපියෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව පිළිබඳ පදනම් විරහිතව එල්ල කර තිබූ චෝදනා, අසත්‍ය කරුණු දැක්වීම් සහ කරුණු විකෘති කිරීම් පිළිබඳ සංස්ථාවේ බලවත් විරෝධය සහ අප්‍රසාදය පළ කරමු.

දූෂණ, වංචා, අකටයුතුකම් මෙන්ම වැරදි පෙන්වා දීම වැදගත් මාධ්‍යයක යුතුකම සහ වගකීම බව අපගේ ද පිළිගැනීමයි. නමුත් මෙරට ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයක් වන ඔබ ආයතනය ‘වැරදි පෙන්වාදෙනවා’ යැයි පවසමින් වගකීම් විරහිත ලෙස අසත්‍ය තොරතුරු සහිත එවැනි ලිපි පළ කිරීමෙන් පුවත්පතේ විස්වසනීයත්වය පිළිබඳ බරපතළ ගැටලු මතුකරයි.

එමෙන්ම රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ලෙස තවත් රාජ්‍ය ආයතනයක් වන අප ආයතනය පිළිබඳ මෙසේ සදාචාර විරෝධී ලෙස පුවත් පළ කිරීමට පෙර අවම වශයෙන් ඒ පිළිබඳ සංස්ථාවෙන් කරුණු නොවිමසීම විමතියට කරුණකි.

ප්‍රියංකර විතානච්චි අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කළ ‘සැමීගේ කතාව‘ චිත්‍රපටයේ ජගත් චමිල ඇමෙරිකාවේ නිව්යෝර්ක් සිටි අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීම මෙරට සිනමා ක්ෂේත්‍රය ලැබූ අග්‍රගණ්‍ය ජයග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ඉතා ඉහළින් අගයන බව පළමු කොටම අවධාරණය කරන්නෙමු.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත අනුව දේශීයව හෝ අන්තර්ජාතික මට්ටමින් සම්මාන සඳහා නිර්දේශ වීම මත පමණක් පදනම්ව කලා ශිල්පියකුට හෝ ශිල්පිනියකට මූල්‍ය ආධාර හෝ වෙනත් පහසුකම් සැලසීමට සංස්ථාවට හැකියාවක් නොමැති වුවත් ජගත් චමිල අදාළ සම්මානය සඳහා නිර්දේශවීම ද ජයග්‍රහණයක් කොට සලකමින් ඔහු ඇමෙරිකාව බලා පිටත්ව යාමටත් පෙර සංස්ථා සභාපති ලෙස නීතිඥ අසෝක සේරසිංහ මහතා සතු බලතල මත විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් මඟින් අදාළ ගුවන් ගමන සඳහා ජගත් චමිලට වැය වන සම්පූර්ණ මුදල සඳහා අනුග්‍රාහකත්වයක් දැරීමට සංස්ථාව කටයුතු කරන්නේ ඒ අනුවයි.

මීට අමතරව ජගත් චමිල මහතා සමඟ අදාළ උලෙළට සහභාගිවීම සඳහා මෙරටින් පිටත්ව ගිය එම චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂ විමල් දේශපි‍්‍රය මහතාට සහ ඇඳුම් නිර්මාණ ශිල්පී අතුල සුල්තානාගොඩ මහතාට අවශ්‍ය වීසා බලපත් ලබා ගැනීම සඳහා මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත සංස්ථා සභාපතිතුමන්ගේ අස්සනින් වෙන් වෙන් රෙකමදාරු ලිපි නිකුත් කිරීම ද සිදු කරන ලද්දේ එකී ශිල්පීන් සහ චිත්‍රපටය ඇගැයීමට සහ සංස්ථාව ලෙස අවැසි සහයෝගය ලබා දීමේ අරමුණෙනි.

ජයග්‍රහණයෙන් අනතුරුව මවුබිමට පැමිණි ජගත් චමිල වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපළේ ප්‍රභූ මගී පර්යන්තය වෙන් කරවා දීමට මැදිහත් වූයේ ද චිත්‍රපට සංස්ථාවයි. එම අවස්ථාවට දන්වා සහ නොදන්වා අදාළ ස්ථානය වෙත පැමිණි බොහෝ කලා ශිල්පීන්, හිතමිතුරන් සහ ජගත් චමිල ඉගෙනුම ලැබූ මොරටුව වේල්ස් කුමර විදුහලේ වත්මන් සහ ආදි සිසුන් ඇතුළු විශාල පිරිසක් අපහසුතාවකට ලක් නොකර අධි ආරක්ෂාවක් සහ අමුත්තන් සීමා පනවා ඇති ප්‍රභූ මගී පර්යන්තය වෙත ඇතුළු කරගැනීමට ද මැදිහත් වූයේ ද චිත්‍රපට සංස්ථා නිලධාරින් විසිනි.

ජගත් චමිල එකී සම්මානය සඳහා නිර්දේශ වූ අවස්ථාවේ සිට සංස්ථා සභාපතිතුමා හෝ සංස්ථාව මඟින් ඉටුකළ එකී කටයුතු පිළිබඳ මෙසේ පුවත් පළ කිරීමට සංස්ථාව කිසි විටෙක අදහස් නොකළ අතර එය සංස්ථාව සතු යුතුකම් ලෙස පමණක් සැලකුණි. නමුත් ‘සරසවිය’ සහ ‘සිළුමිණ’ ලිපි මඟින් සංස්ථාව ‘සැමීගේ කතාව‘ චිත්‍රපටය හිතාමතා මෙරට ප්‍රදර්ශන ඉඩකඩ අහුරා ඇති බව දක්වමින් සහ එකී චිත්‍රපටය වෙනුවෙන් කිසිදු සහයක් සංස්ථාව පළ කර නොමැති බවට හුවා දක්වා තිබීම මත මෙකී තොරතුරු හෙළි කිරීමට තීරණය කළ බව සඳහන් කළ යුතුය.

මෙරට නිපදවන සියලු චිත්‍රපට ‘දේශීය චිත්‍රපට ලියාපදිංචි කිරීමේ’ ක්‍රමවේදය මත සිදු කිරීම අප සංස්ථාව බිහිවූ දා සිට අනුගමනය කරන ක්‍රමවේදයකි. ඒ අනුව ‘සැමීගේ කතාව‘ චිත්‍රපටය ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ එකී ලේඛන ගත කිරීමට ඉල්ලුම් කිරීමෙන් අනතුරුව 2006 මාර්තු 20 වැනි දා පටන් සංස්ථාවේ ලියාපදිංචි වී ඇති අතර එදා මෙදා තුර අදාළ චිත්‍රපටය සම්බන්ධයෙන් චිත්‍රපටයේ නිෂ්පාදක/අධ්‍යක්ෂ පාර්ශ්වය සංස්ථාව සමඟ සිදු කෙරුණු සියලු ලිපි ගනුදෙනු පිටපත් ඇතුළත් ගොනුවක් මේ වන විටත් සංස්ථාව සතුව සුරක්ෂිතව පවතී. ඒ අනුව සංස්ථාව පාර්ශ්වයෙන් මේ කරුණු දැක්වීම සිදු කරනුයේ සාක්ෂි සහිතව වගකීමෙන් යුක්තවයි.

ඉහත පුවත්පත් ලිපි මඟින් දක්වා ඇති පරිදි ‘සැමීගේ කතාව‘ චිත්‍රපටයට මෙරට ප්‍රදර්ශනය සඳහා සංස්ථාව වෙත ලබා දීමක් හෝ සංස්ථාව එය නොසළකා හැරීමක් හෝ චිත්‍රපට සංස්ථාවට අයත් ‘රිත්මා’ මණ්ඩලය මඟින් බෙදාහැරීමක් සඳහා ඉල්ලීමක් හෝ නිෂ්පාදක විසින් සිදු කර නොමැති බව අවධාරණය කරමු.

අදාළ චිත්‍රපටයේ නිෂ්පාදක/අධ්‍යක්ෂ ප්‍රියංකර විතානච්චි 2006 ජුනි 20 වැනි දා ශ්‍රී‍්‍ ලංකා ජාතික චිත්‍රපට සංස්ථා සභාපතිතුමා වෙත ලිපියක් යොමු කරමින් සිය චිත්‍රපටය සඳහා නිෂ්පාදන සහයෝගිතාවක් හෝ පිටපත් මුද්‍රණ ණය පහසුකමක් ඉල්ලුම් කර ඇත.

එකී අවස්ථාවේ රූපගත කිරීම් නිමවා තිබුණත් නිසි ලෙස ශබ්ද සංයෝජනය කොට හෝ නොතිබුණු පසු නිෂ්පාදන මට්ටමේ තිබූ ‘සැමීගේ කතාව‘ චිත්‍රපටය වී.එච්.එස් කැසට් පටයක් මඟින් එය අදාළ කමිටුවට ප්‍රදර්ශනය කර ඇති අතර ප්‍රියංකර විතානච්චි මහතාම එම පිටපත හඳුන්වා ඇත්තේ Wild Track පිටපතක් ලෙසිනි. කෙසේ වෙතත් සංස්ථාව ඒ මහතා දිරිගන්වමින් සඳහන් කර ඇත්තේ අදාළ පිටපතේ අඩුපාඩු අවසන් කර ප්‍රමිතිගතව සැකසූ පිටපතක් යළි මෙවන් කමිටුවකට ඉදිරිපත් කර ණය මුදලක් අනුමත කරගැනීමට උත්සාහ කරන ලෙසයි.

නමුත් ඒ ආසන්න කාලයේ ප්‍රියංකර විතානච්චි මහතා කැනඩාවේ ස්ථිර පදිංචිය සඳහා සංක්‍රමණය වීමත් සමඟ වැඩ අවසන් නොකළ මට්ටමේම පැවති ‘සැමීගේ කතාව‘ චිත්‍රපටය පිළිබඳ කිසිදු ලිපි ලේඛන හුවමාරුවක් 2006 ජූලි 14 වැනිදා සිට 2011 පෙබරවාරි 26 වැනිදා දක්වා සිදු නොවීම විශේෂ සිද්ධියකි.

අනතුරුව විතානච්චි මහතාගේ ලිඛිත අවසරය සහිතව අදාළ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂ විමල් දේශප්‍රිය මහතා එහි පළමු මිමී35 පිටපත මුද්‍රණය කොට රැගෙන ඒම සඳහා 2011 මාර්තු 03 වැනිදාත් පසුව ඉංග්‍රිසි උපශීර්ෂ යෙදූ පිටපත රැගෙන ඒමේ බලාපොරොත්තුවෙන් 2011 අගෝස්තු 15 වැනිදාත් ඉන්දියාවට යෑම සඳහා වීසා සහ රේගු අවසර ලබාගැනීමට අදාළ ලිපි සංස්ථා සභාපතිතුමන්ගේ අස්සනින් ලබාගෙන තිබේ. එසේ රැගෙන ආ පිටපත රැඟුම් පාලක මණ්ඩලය වෙත ප්‍රදර්ශනය කිරීමෙන් ලබාගන්නා සහතිකයේ පිටපතක් මෙකී ලිපිගොනුවට ඇතුළත් නොවීම විශේෂිත වේ.

ඉන් පසුව අදාළ ලිපිගොනුවේ ඇත්තේ නිව්යෝර්ක් සිටි අන්තර්ජාතික සම්මාන උලෙළ සඳහා ජගත් චමිල මහතා නිර්දේශ ලබා ඇති පුවත විද්‍යුත් පණිවුඩයකින් සංස්ථා සභාපතිතුමන් වෙත පි‍්‍රයංකර විතානච්චි මහතා දැනුම් දීමේ සිට ඊට සංස්ථාව ලබා දුන් ලිපිලේඛන පිටපත් සහිත වත්මන් තත්ත්වයයි.

සංස්ථාවේ ලියාපදිංචි වන චිත්‍රපට සිය පළමු පිටපත ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ලබාගන්නා සහතිකයේ පිටපතක් සංස්ථාවේ අදාළ චිත්‍රපටය නමින් පවත්වාගෙන යන ගොනුවට ඇතුල් කිරීම සඳහා ලබා දීම සාමාන්‍ය සම්ප්‍රදායකි.

නමුත් ප්‍රියංකර විතානච්චි මහතා වෙනුවෙන් එකී කාර්යය ඉටු කළ විමල් දේශප්‍රිය මහතා 2011 නොවැම්බර් 04 වැනිදා ලබාගත් එකී සහතිකයේ පිටපතක් සංස්ථාවට ඉදිරිපත් කිරීමට අතපසුවීම පසු කලෙක මේ චිත්‍රපටයට රැඟුම් පාලක මණ්ඩලය සහතිකය ලබා තිබියදීත් සංස්ථාව විසින් කපා හරින ලදැයි යන වැරැදි පූර්වකථනයට පාදක වූ ප්‍රස්තුතය ලෙස හඳුනාගත හැකිය.

මීට අමතරව රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලැබුණු පසු මේ චිත්‍රපටය කිසිදු අවස්ථාවක සංස්ථාවට අයත් ‘රිද්මා’ මණ්ඩලයේ ප්‍රදර්ශනය කරන ලෙස ඉල්ලමින් අනුපෙළ ගැන්වීමට කිසිදු ඉල්ලීමක් චිත්‍රපටයේ අධ්‍යක්ෂ නිෂ්පාදක පි‍්‍රයංකර විතානච්චි මහතා හෝ ඔහු වෙනුවෙන් මෙරටදී කටයුතු කළ සහය අධ්‍යක්ෂ විමල් දේශප්‍රිය මහතා හෝ ඉකුත් සතිය වන තුරු ඉල්ලීමක් සිදු කර නොමැති බව අප අවධාරණයෙන් යුතුව සඳහන් කරමු.

නමුත් ඔවුන් විසින් මෙරට එක් ප්‍රකට පෞද්ගලික ප්‍රදර්ශන මණ්ඩලයක් ඉලක්ක කරගනිමින් ‘සැමීගේ කතාව‘ චිත්‍රපටය මුදා හැරීමේ අපේක්ෂාවෙන් කළ විමසීමකදී අදාළ මණ්ඩලය නිෂ්පාදක වෙත දන්වා තිබූ වසර 2015 දී පමණ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලබා දීමට උත්සහ කළ හැකි වෙතැයි යන්න සංස්ථාව විසින් කළ දැනුම් දීමකැයි ජනිතවන ස්වරූපයකින් අදාළ පුවත්පත් ලිපින පළ වී තිබීම කනගාටුදායකය.

තවද අදාළ ලිපිය මඟින් හුවා දක්වා ඇති අනෙක් බරපතළ අසත්‍ය කරුණ වන්නේ චිත්‍රපට සංස්ථාව මඟින් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල අනුමැතිය ලබාගත් දිනය පාදක කරගනිමින් ප්‍රදර්ශනය වීමට නියමිත චිත්‍රපට නාමලේඛනයක් ප්‍රසිද්ධ කර ඇති බවත් එකී නාම ලේඛනයේ ‘සැමීගේ කතාව‘ ඇතුළත් නොවීමේ හේතුව කුමක් දැයි ලිපි රචකයින් සංස්ථාවෙන් ප්‍රශ්න කර සිටීමයි.

මෙවැනි ලේඛනයක් සංස්ථාව විසින් කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියට පත් නොකළ බව අවධාරණය කළ යුතුය. වැඩ නිමවා ඇති චිත්‍රපට විවිධ හේතු මත ප්‍රදර්ශනය කර ගත නොහැකිව සිටින නිෂ්පාදකවරු / අධ්‍යක්ෂවරු ඊට මැදිහත් වන ලෙස සංස්ථා සභාපතිවරයාගෙන් පසුගිය කාලයේ ඉල්ලීමක් කර තිබුණි.

එහිදී ඔවුන් අතරින් තේරී පත්වූ නියෝජිතයින්ගෙන් සහ මෙරට චිත්‍රපට බෙදාහැරීම් සිදු කරන මණ්ඩල පහේ නියෝජිතයන්ගෙන් ද සැදුම් ලත් කමිටුවක් මඟින් මේ පිළිබඳ සාකච්ඡා කොට සියලු දෙනාට එකඟ විය හැකි විසඳුම් යෝජනා ගෙන එන ලෙස සභාපතිතුමන් යෝජනා කරන ලදී.

එකී කමිටුව මඟින් පළමුව ගන්නා ලද තීරණයක් වූයේ එම අවස්ථාව වන විට රැඟුම් පාලක මණ්ඩල සහතිකය ලැබූ නමුත් ප්‍රදර්ශනය නොකළ චිත්‍රපට වල නාමලේඛනයක් කමිටුවේ කටයුතු සඳහා සකසා ගැනීමයි. එය කිසිදු අවස්ථාවක සංස්ථාව මැදිහත් වී සකසන ලද්දක් නොවුණි.

එමෙන්ම ‘ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය’ යනු සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින වෙනමම ආයතනයක් වන අතර එය ඇතැමුන් හඳුනාගෙන ඇත්තේ ජාතික චිත්‍රපට සංස්ථාවට අයත් අංගයක්ය යන වැරැදි අවබෝධයත් මෙවැනි වරදවා වටහා ගැනීම් වලට පාදක වී තිබේ.

කෙසේ වෙතත් ප්‍රදර්ශනය කර ගත නොහැකිව පවතින චිත්‍රපට පිළිබඳ ‍ෙල්ඛනයක් සකස් කරමින් සිටින බවට ලද තොරතුරු අනුව විටින් විට නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු අදාළ කමිටුවටත් සංස්ථාවටත් සිය චිත්‍රපට තොරතුරු ලබා දී තිබිණ. කමිටු සාමාජිකයින් අත ගැවසුණු එකී ලේඛනය ක්ෂේත්‍රය තුළ පැතිර ගොස් තිබුණේ සංස්ථාව විසින් ප්‍රකාශයට පත් කරන ලද්දක් ලෙසිනි.

එහිදී ද පෙර ලෙසම ‘සැමීගේ කතාව‘ චිත්‍රපටයේ ප්‍රියංකර විතානච්චි මහතා වෙනුවෙන් විමල් දේශප්‍රිය මහතා විසින් මේ පිළිබඳ ආරංචිය ලැබී එකී තොරතුරු සංස්ථාව වෙත ලබාදීමට යම් කාලයක් ගතවීම අර්ථ දැක්වී තිබෙන්නේ සංස්ථාව මැදිහත් වී එම චිත්‍රපටයට ලැයිස්තුවෙන් කපා දමා අසාධාරණයක් කළ සැටියෙනි.

අප සර්ව නිර්දෝශී යැයි නොකියමු. නමුත් වාණිජකරණයට, පුද්ගලවාදයට, කුලවාදයට සහ අධිපතිවාදයට යටත් කරගැනීමට වෙර දරන මෙරට සිනමා කර්මාන්තය තුළ අනේක දුෂ්කරතා, තර්ජන, ගර්ජන මැද ක්ෂේත්‍රයේ නියුතු සැමට සේවා පහසුකම් සපයන එකම රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව පිළිබඳ කරුණු හරිහැටි සොයා බැලීමකින් තොරව පළ කළ එකී ලිපි සැකසූ මෙරට පැරණිම සහ ප්‍රකටම පුවත්පත් ආයතනය වගකීම් සහගත ලෙස කටයුතු කළ යුතුව තිබුණ බව පමණක් පෙන්වා දෙමු.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
සංස්කාරක සටහන

චිත්‍රපට සංස්ථාවේ අලෙවි, නිෂ්පාදන පර්යේෂණ සහකාර සාමාන්‍යාධිකාරිවරයාගේ අස්සනින් යුත් ආවරණ ලිපියක් සහිතව එකී සංස්ථාව වෙනුවෙන් එවා ඇති ලිපියෙහි අදාළ කොටස් මෙසේ පළ කරමු.

සිළුමිණ පුවත්පතෙහි පළ වූ ලිපියෙහි අරමුණ වූයේ එම ආයතනයට අපහාස කිරීමට ද එසේ නොමැති නම් එකී සම්මානනීය කලාකරුවා හා සුවිශේෂී කලා කෘතිය වෙනුවෙන් පෙනී සිටීම දැයි තීරණය කිරීම පාඨක ඔබට භාර කරමි.

එසේම රජයේ හෝ රජයේ නොවන ආයතනයක් පිළිබඳ ප්‍රශංසාත්මකව හෝ විවේචනාත්මකව කරුණු දැක්වීමට අපට ඇති අයිතිය සුරකිමු.

මේ පිළිතුර “සිළුමිණ හා සරසවියට පොදුවේ එවා ඇති එකකි. එහෙත් ලිපි දෙකෙහි අඩංගු කරුණු කාරණා වෙනස්ය. එසේ වුවද පාඨකයාගේ අවබෝධය සඳහා ‘සිළුමිණ’ ලිපියට අදාළ නොවන කොටස් ද මෙහි ඉතිරිව තිබෙන්නට ඉඩ හැරියෙමු.

අප යළිත් අවධාරණය කරන්නේ සිළුමිණ පත්‍රයේ පළ වූ ලිපිය චිත්‍රපට සංස්ථාවට අපහාස කිරීමට ලියූවක් ද එසේත් නොමැති නම් සැබෑ සිනමා කෘතියක් සහ සැබෑ රංගන ශිල්පියෙක් පිළිබඳව ලියූ ලිපියක් ද යන්න තෝරා බේරා ගන්නා ලෙසයි.

No comments:

Post a Comment