හොල්මන් කතාවක්

3:52 AM |

අරුණ ගුණරත්න ‘සරසවිය’ පත්තරේ වත්මන් කතුවරයා. ඔහු අපහට මුලින්ම හඳුනාගන්නට ලැබුණේ ඒ.ඩී.රංජිත් කුමාරයන් ‘සරසවියේ’ කර්තෘ පදවිය දැරූ කාලයේ ඔහුගේ කර්තෘ මණ්ඩලයේ සිටි තරුණ මාධ්‍යවේදියෙක් විදියට. 

කොහේදී හමුවුණත්, මොහොතක් නැවතී කතාබහ කරලා, ආගිය තොරතුරුවල රසමුසු තැන් හුවමාරු කර ගැනීම දැන හඳුනාගත් දා පටන් ඔහුගේ සිරිතක්. ‘සරසවියේ’ මුල් පුටුවට ඇවිත් බොහෝ කාර්යබහුලව සිටියදී වුණත් ඔහුගේ ඒ ගති සොබා එලෙසින්ම දකින්නට ලැබීම සතුටට කරුණක්.

අරුණ සරසවියේ කර්තෘ මණ්ඩල සාමාජිකයකු වශයෙන් කටයුතු කරන කාලෙ දවසක් දා කිසියම් රාජකාරියක් සඳහා මරදානේ, ඩීන්ස් පාර දිගේ ඇවිදගෙන යද්දී කොළඹ මල් ශාලාව ඉදිරිපිට මරණයක් වෙනුවෙන් ප්‍රදර්ශනය කර තිබුණු සුදු බැනරයක් වෙත ඔහුගේ අවධානය යොමුවුණා.

’රාජා සෙනෙවිරත්න මහතාට නිවන් සුව පතමු!’ ලොකු අකුරෙන් ලියැවුණු බැනරය කියැවූ අරුණ ටිකක් කලබල වුණා. රාජා කලා ලෝකයේ බොහෝ අය හොඳින් දන්නා හඳුනන චරිතයක්. 

ඔහු බොහෝ කලක් තිස්සේ සේවය කළේ කොළඹ මහ නගර සභාවේ ආදායම් අංශයේ. නාට්‍යකරුවන් කොළඹ නගරයේ රඟහලකදී නාට්‍යයක් පෙන්වන කොට ඒ සඳහා වූ විනෝද බදු සහතිකය ලබා ගත යුතු වෙනවා. නාට්‍යකරුවන්ට, දුවලා පැනලා කඩිනමින් ඒ සහතිකය ලබා දෙන්නේ රාජා. 

ඒ හේතුව නිසාම නාට්‍ය මංගල දර්ශනවලදී නාට්‍යකරුවන්ගේ ආරාධනයෙන් රාජා නොවරදවාම ඒවාට සහභාගී වෙනවා. ඒවායේදී සිදුවූ දැන හැඳුනුම්කම් මත රාජා කලා ලෝකයේ ජනප්‍රිය චරිතයක්.

ඒ අනුව රාජාව හොඳින් දැන හඳුනා ගෙන සිටි අරුණ, කම්පාවට පත්ව, මල් ශාලාව ඉදිරිපිට පාරේ මඳක් රැඳී සිටියා. ‘රාජාට මේ හදිස්සියේ මොනවා වුණාද?’ 

යන පැනය සිතේ දෝංකාර දෙද්දී අරුණ මල් ශාලාවට පිවිසුණා. එහි තැන්පත් කොට තිබූ මෘත දේහය වෙත විමසුම් දෑසින් බැලූ අරුණ සැනසුම් සුසුමක් හෙළුවා.

’මේ අපේ රාජා නෙමෙයි, වෙනින් රාජා කෙනෙක්’ එසේ තමාටම මුමුණා ගත් අරුණ මල් ශාලාවෙන් එළියට ආවා.

ඊළඟ සතියේ පැවති චිත්‍රපටයක මංගල දර්ශනයේ දී අරුණට රාජාව මුණගැසුණා.

”රාජා, ගිය සුමානෙ කොළඹ මල් ශාලාව ළඟ උඹට නිවන් සැප ලැබේවා! කියල බැනර් එකක් දැකලා මං බය වෙච්ච තරමක්! ඇතුළට ගිහින් බැලුවාම ඒ උඹ නෙමෙයි නෙ” අරුණ සිනාවෙමින් කිව්වා. රාජා බොහොම බැරෑරුම් මූඩ් එකකට ඇවිත් ඔහුට සුපුරුදු කලබල ස්වරයෙන් මෙහෙම උත්තර දුන්නා.

”මටත් යාළුවෙක් කතාකරලා ඔය කතාව කිව්වා. ඉතින් මමත් තකහනියක්ම කොළඹ මල් ශාලාවට ගිහින් බැලුවා. ඒ මම නෙමෙයි බං. වෙනින් කවුදෝ රාජා කෙනෙක්.”

අරුණගේ දුවගෙ වයස අවුරුදු දහයයි. ඈ ඉගෙනගන්නෙ බම්බලපිටියේ මිලාගිරියේ, ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ. පොත පත පරිශීලනයෙහි තද ඇල්මක් දැක්වූ අරුණ, තම දුවටත් එම ඇල්ම ඇතිකිරීමේ රිසින් ඇයට නිතර පතපොත මිලදී ගෙන දීමට පුරුදු වී සිටියා. ඇය තම පියා ගෙනැවිත් දෙන පොත් කියවලා, කියැවීමේ රුචිය වැඩිලා පාසල් පුස්තකාලය ඇසුරු කරන්නට පෙලැඹුණා.

දවසක් දා අරුණ තම දෛනික රාජකාරි කටයුතු අවසන් කරලා නිවෙසට ගොඩවැදුණේ ඇඳිරියත් එක්ක. ඔහු සාලයට පිවිසෙද්දී ඔහුගේ දියණිය කුමුතු පොතක් පපුවට තුරුළු කරගෙන ඔහු ඉදිරියට දිව ඇවිත් තොෙඳාල් බසින් මෙහෙම කිව්වා.

”තාත්තා හැමදාම මට කියවන්ඩ පොත් ගෙනත් දෙනවනෙ. මම අද අපේ ඉස්කෝලෙ ලයිබ්රි එකෙන් ගෙනාවා, තාත්තටයි මටයි දෙන්නටම කියවන්ඩ පොතක්.”

සිනාමුසුව තම දියණිය දෙස බැලූ අරුණ සෙනෙහසින් පෙඟුණු ස්වරයකින් මෙහෙම ඇහැව්වා.

”මොකක්ද දුව ඔයාටත් කියවන්ඩ පුළුවන්, මටත් ගැළපෙන පොත?”

”මේක මේ හොල්මන් කතාවක්” ඈ පොත පපුවට තුරුළු කරගෙනම පිළිතුරු දුන්නා.

”හොල්මන් කතාවක්? මොකක්ද ඕකෙ නම?” අරුණ ඇහැව්වා.

”මළගිය ඇත්තෝ” ඈ පොත තම පියා වෙත දිගු කරමින් කිව්වා. ඒ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ’ නවකතාව.

එඩ්වඩ් චන්ද්‍රසිරි

No comments:

Post a Comment